සත්‍ය  පිළිගැනීමට කාලයයි


සෑම අතකින්ම පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන රැසක් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් යළිත් බලාපොරොත්තු ගොඩනගමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක මෙන්ම නියත වශයෙන්ම ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති ලෙස පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා සිය මැතිවරණ ප්‍රකාශය එළිදැක්වීය.

වර්තමාන රජය විසින් නොසලකා හරින ලද ක්ෂේත්‍ර ඇතුළුව සියලු අංශ කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අවධානය  යොමු කළ ප්‍රධානම අංශයක් වූයේ ජාතික ආරක්ෂාව නැවත තහවුරු කිරීමය. එසේම සෑම පුද්ගලයෙකුගේම අයිතීන් සුරක්ෂිත කිරීම, වාර්ගික මෙන්ම ආගමික අන්තවාදයන් පිටුදැකීම පිළිබඳවද ඔහු සිය අවධානය යොමු කළේය.

2015දී බලයට පත්වූ දා සිට මෙම අසාර්ථක ආණ්ඩුව තමන්ගේ අසමත්කම් වසා ගැනීම වෙනුවෙන් සෑමදෙයකටම පසුගිය රාජපක්ෂ ආණ්ඩුවට දෝෂාරෝපණය කරන්නට විය. විවිධ පාර්ශ්ව විසින් ඉදිරියට ගෙන ආ ජාතිවාදයට මෙන්ම සුළු ජාතීන්ට එරෙහිව ඇතිවූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන්ද ඔවුන් පදනම් විරහිත ලෙස රාජපක්ෂවරුන්ට චෝදනා කරන්නට විය.
මීට පෙර මම කුරහන් සුවඳ තීරු ලිපිය හරහා දිගින් දිගටම අලුත්ගම හා දිගන ඇතිවූ සිදුවීම් කුමන කණ්ඩායම් මගින් සිදුකළේද, ඒ සඳහා කවුරුන් වගකිව යුතුද යන්න ඔබට පැහැදිලි කළෙමු. ඒ ආකාරයටම මේ වසරේදී අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට වගකිවයුතු වන්නේද පාලනයේ සිටින එක්සත් ජාතික පක්ෂයයි.

යහපාලනය යන වචනය අවභාවිත කරමින් කටයුතු කළ මෙම ආණ්ඩුව සුළුතර ප්‍රජාවන්ට උදව් කිරීමට හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හෝ ජාතිවාදී ප්‍රහාරයන් වැළැක්වීමට කිසිවක් නොකළේය. 2015 මැතිවරණයේදී අලුත්ගම කෝලාහාලය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන බවට සඳහන් කරමින් එම ජනතාවගේ ඡන්ද ලබාගත් ආණ්ඩුව එම පරීක්ෂණය සිදු නොකළේය. මේ පිළිබඳව අප සිදුකළ පරීක්ෂණ වාර්තාවන්ද යටපත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේය. ඒ හරහාම අලුත්ගම ප්‍රහාරය පසුපස සිටින්නේ කවුද යන්න පිළිබඳව ජනතාවට අදහසක් ලබාගැනීමට අවස්ථාව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යථාර්ථවාදී මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ලබන මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුවම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන අතර, ඔහුගේ ධුර කාලය තුළදීම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නංවා අවසන් කිරීම වෙනුවෙන් නිශ්චිත කාල වකවානු සහිත ඉලක්කයන් හා සැලසුම් අප සතුව පවතී. තමාට භාරදුන් රාජකාරිය නිසියාකාරව ක්‍රියාත්මක කළ පුද්ගලයෙකු ලෙසින් තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයද ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ඔහු සිය නායකත්වය ලබාදෙනු ඇත.
වත්මන් ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් අත්විඳ ගැටලු පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතාට හොඳ අවබෝධයක් පවතී. ඒ පිළිබඳව අවධානය යොමුකළ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් බොහෝ ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබේ.

කතෝලික ජනතාව ඉලක්ක කර ගනිමින් එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ඒකපාර්ශ්වීය වාර්තාවක්, ජනපති කොමිසමක වාර්තාවක් මේ වන විට එළිදක්වා ඇතත් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමක් පෙනෙන්නට නොමැත. මේ ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව තවමත් යුක්තිය ඉල්ලා සිටිති.

කෙසේ හෝ වේවා මේ වන විට ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික හා බර්ගර් යන සියලුම ජන කොටස් භීතියෙන් යුතුවත් වෙන් වෙන්ව කටයුතු කරන තත්ත්වයක් දැකිය හැකිය. ශ්‍රී ‍ලංකාවේ අනාගතය වෙනුවෙන් මෙය යහපත් තත්ත්වයක් නොවේ. යළිත් මෙම සියලු ජනතාව අතර විශ්වාසය ගොඩනැගීමට හැකි වන්නේ ජනතාව තුළ විශ්වාසය ඇති කිරීමෙන් පමණි. 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය මේ වන විට දූෂණයෙන් පිරී ගොස් තිබේ. එසේම අකාර්යක්ෂමතාවද තවත්  ගැටලුවකි. ජනතාව බලාපොරොත්තුවකින් තොරව ජීවත් වෙයි. මෙම අපේක්ෂාභංගත්වය අවසන් කිරීමට ඇති එකම අවස්ථාව තවත් නොබෝ දිනකින් උදාවෙයි. ඒ නොවැම්බර් 16දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයයි. එම ජනපතිවරණයෙන් අනතුරුව රට ගොඩනැගීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළ දේශපාලනඥයන්, විද්වතුන් සහ වෘත්තිකයන් ප්‍රධාන මූලධර්ම 10කින් සමන්විතව සකස් කර තිබේ. ඒ හරහා ඵලදායී පුරවැසියෙක්, ප්‍රීතිමත් පවුලක්, විනයගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට අපි අපේක්ෂා කරමු.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දර්ශනයට අනුකූලව යමින් ඔහු හා සිටින කණ්ඩායම මේ වෙනුවෙන් කටයුතු කරනු ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සියලු පුරවැසියන්ට සුරක්ෂිත රටක් බවට පත්කිරීමට ඔවුන් සිය සහාය ලබාදෙනු ඇත.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සියලුම ජාතීන්ට අයත් ජනතාවට එකා මෙන්ම කටයුතු කළ හැකිනම් සමස්ත ශ්‍රී ලංකාව තුළද ඒ ආකාරයෙන් කටයුතු කළ හැකි බවට අපගේ විශ්වාසයයි. මේ සත්‍යය පිළිගැනීමට කාලයයි.

ඔබේ දරුවන් සහ අනාගත පරම්පරාව වෙනුවෙන් මෙවර ජනපතිවරණයේදී ඔබගේ වටිනා ඡන්දය භාවිත කිරීම අත්‍යාවශ්‍ය වෙයි. එසේ නොමැති වුවහොත් මේ රජය යටතේ තවත් වසර පහක් රට යළි ගොඩගැනීමට නොහැකි අගාධයකට වැටෙනු නොඅනුමානය.
ලබන සතියේදී යළිත් හමුවෙමු
ඔබට සුබ අනාගතයක්

 



Recommended Articles